පෞද්ගලික අංශයේ සේවකයින්ට දායක විශ්‍රාම වැටුපක්
- Susil Priyantha
- Sep 9, 2024
- 1 min read

ගෞරවනීය සහ ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් සහතික කිරීමේ පියවරක් ලෙස පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ජාතික ජන බලවේගය යෝජනා කර ඇති බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු අමාත්‍ය අනුර කුමාර දිසානායක ඊයේ (08) ප්‍රකාශ කළේය.
අන්තර් සමාගම් සේවක සංගමයේ (ICEU) 25 වැනි සමුළුව අමතමින් දිසානායක කියා සිටියේ විශ්‍රාමිකයින් බහුතරයක් දුක්ඛිත ජීවිත ගත කරන බව ය. සෑම දෙනාම ගෞරවනීය හා ප්‍රීතිමත් විශ්‍රාමික ජීවිතයක් ගත කළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය.
පෞද්ගලික අංශයේ සේවකයන් රටේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන බව ද අනුර දිසානායක ප්‍රකාශ කළේ ය. වසර දෙක තුනක සාමූහික ගිවිසුම් වෙනුවට ජීවන වියදමට අනුව මාස හයකට වරක් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට වැටුප් වර්ධක පටිපාටියක් අවශ්‍ය බව ද, ඔහු පෙන්වා දෙයි.
"අපේ සමාගම් බොහොමයක වැටුප් වැඩි කරන්න අවුරුදු දෙක තුනක සාමූහික ගිවිසුම් තියෙනවා. අපි වගේ අස්ථාවර ආර්ථිකයකට ඒක සුදුසු නැහැ. ආර්ථිකය ස්ථාවර නම් අවුරුදු දෙක තුනක සාමූහික ගිවිසුම් හොඳයි. නමුත්, ලංකාවේ ජීවන වියදම් දර්ශකය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, ජීවන වියදමට අනුකූලව සෑම මාස හයකට වරක් වැටුප් සංශෝධනය කළ යුතුයි,"
මීට දශක එකහමාරකට පෙර ආරම්භ වූ මිනිස්බල (man power) ක්‍රමය නවීන ආකාරයේ වහල් වෙළඳාමක් ලෙස ඉදිරියට නොයා යුතු බව ද ඔහු පැවසීය.
Comments